Apr
4

ඒකාලේ හරියට මිනිස්සුන්ට රැවටුණා – හිමායා බණ්ඩාර

 
978 Views
   
At-that-time-people-were-deceived---Himaya-Bandara  

හිමායාට පුංචි කාලයට යන්න එක අවස්ථාවක් ලැබෙනවා. එහෙම වුණොත් යන්න කැමති කොයි කාලේටද?

එහෙම අවස්ථාවක් ලැබුණොත් මම මගේ අවුරුදු හයේ ඉඳන් පහළොව අතර කාලයට යනවා. ඒ කාලේ මම හරිම දඟයි. පුදුම විදිහට සෙල්ලම් කළා. ඒ නිසා ඒ කාලේට ආයෙත් ගිහින් මම සෙල්ලම චුට්ටක් අඩු කරලා තව ටිකක් හොඳට ඉගෙනගන්නවා කියලා හිතනවා. මම පාසැල් තුනක ඉගෙන ගත්තා. පොඩි කාලේ මම හරියට කොල්ලෙක් වගෙයි. මම ගස් නැංගා. සෙල්ලම් ගෙවල් හැදුවා. ඇළේ දොළේ පැන්නා. ගෙදර ඇත්තේම නැති තරම්. මම ඉපදුනේ හොරොව්පතානේ. ඊට පස්සේ ගිනිගත්හේනේ හිටියා. ඉස්කෝලේ ගියේ අනුරාධපුරේ. ඒ කාලේ අපිට සෙල්ලම් කරන්න උපරිම නිදහස තිබුණා. මම ඒ කාලේ ජීවිතේ උපරිමයෙන්ම වින්දා. මම තරම් ඒ ළමා කාලය විඳපු කෙනෙක් නැති තරම්දෝ කියලත් අද මට හිතෙනවා.

නොහිතපු වෙලාවක හිමායාව මේ කලා ක්ෂේත්‍රයෙන් ප්‍රතික්ෂේප වෙනවා. එහෙම වුණොත් මොකද කරන්නේ?

එහෙම වුණොත් මම ගොඩක් සතුටින් ඒ දේත් බාරගන්නවා. දුක, සතුට, නින්දා, අපහාස කියන අටලෝ දහම සම සිතින් බාරගන්න කෙනෙක්. මට ලැබීම වගේම නොලැබීමත් සාමාන්‍ය දෙයක්. මටත් දුක දැනෙනවා. නමුත් මම ඒක කඳුළක් පිටකරලා, සුසුමක් පිටකරලා හිනාවකින් ජීවිතය බාරගන්න කෙනෙක්. ඒ නිසා කලා ක්ෂේත්‍රය මාව ප්‍රතික්ෂේප කරන එක මට එච්චර දැනෙන එකක් නැහැ.

නොකරපු වරදකට හිමායාට දඬුවමක් ලැබෙනවා. එහෙම වුණොත් හිමායා මොකද කරන්නේ?

එහෙම නොකරපු වරදකට දඬුවමක් ලැබුණොත් මම ඒක මේ විශ්වයට බාර කරනවා. අපි කරන කියන හැමදේම විශ්වයටයි එකතු වෙන්නේ. ඒ නිසා මගෙන් පිටවන හැම සුසුමක්ම දැනෙන හැම වේදනාවක්ම මේ විශ්වයත් එක්ක තමයි ගනුදෙනු කරන්නේ. ඒ නිසා මම නොකරපු වරදකට දඬුවමක් ලැබුණොත් කොයිම වෙලාවක හරි මට සාධාරණයක් ඉෂ්ට වෙයි කියලා විශ්වාස කරනවා. මම මේ විශ්ව ශක්තිය දැඩිව විශ්වාස කරන කෙනෙක්.

මේ වෙද්දී හිමායාගේ ජනප්‍රියත්වය එක්ක දේශපාලනයට පිවිසෙන්නට අවස්ථාවන් සහ ආරාධනාවක් ලැබෙනවා. එහෙම වුණොත් මොකද කරන්නේ?

මගේ සෙවණැල්ලක්වත් මගේ දූවිල්ලක්වත් දේශපාලනේට එකතු වෙන එකක් නැහැ. මිනිසුන්ට උදව් කරන්නට දේශපාලනය කරන්න ඕන වෙන්නේ නැහැ. අපිට මිනිස්සුන්ට උදව් කරන්න ලොකු සල්ලි හම්බ කරලා නැහැ. අපිට තියෙන්නේ මේ ජනප්‍රියත්වය විතරයි. නමුත් අපිට පුළුවන් විදිහට මිනිසුන්ට උදව් කරලා තියෙනවා. මට පුළුවන් ප්‍රමාණයෙන් මම අදටත් මිනිසුන්ට උදව් කරනවා. ඒවා සමාජ මාධ්‍යයට මම හැමවෙලේම එකතු කරන්නේ නැහැ. මගේ වටේ යම් ප්‍රමාණයකින් මුදල් තිබෙන හිත හොඳ, සමාජයට සේවය කරන මිනිසුන් කොට්ඨාසයක් ඉන්නවා. අපි එකතුවෙලා මේ රටේ අහිංසක මිනිසුන්ට උදව් කරනවා. හැබැයි ඒ කරන්නේ ඒ හරහා ජනප්‍රිය වෙන්නවත් දේශපාලනයට එකතු වෙන්නවත් නෙවෙයි. අපෙන් සමාජයට විය යුතු යුතුකම් අපි නිහඬව අපිට කරන්නට පුළුවන් විදිහට අපි කරනවා. ලංකාව ඇතුළේ දේශපාලනය මඩවළක් වගේම හරිම අප්‍රසන්න දෙයක්. මම ඒවලට වැටෙන්නේ නැහැ.

හිමායාට හිතපු නැති වෙලාවක කෝටි ගණනක ලොතරැයියක් ඇදෙනවා. එහෙම වුණොත් මොකද කරන්නේ?

මුලින්ම මගේ සහෝදර සහෝදරියන්ට මම උදව් කරනවා. ඒ අයගේ අඩුපාඩු ටික මම හොයලා බලලා කරනවා. මගේ අප්පච්චි නැතිව මාව බලාගත්තේ ඒ අයයි. මට අයියලා දෙන්නයි අක්කලා තුන්දෙනයි ඉන්නවා. මම පවුලේ බාලයා. මම පන්සලකට, පල්ලියකට හරි යම්කිසි දේවස්ථානයකට අඩුපාඩු හොයලා බලලා කරනවා. ඒ වගේම ඉගෙන ගන්න පුළුවන් අහිංසක, ආර්ථික අපහසුතා ඇති දරුවන්ට මම උදව් කරනවා. අදටත් මම පාවිච්චි කරන්නේ මම පළවෙනියටම ගත්තු වාහනයයි. ඒ නිසා අලුත් වාහනයක් අරගෙන මම යම් මුදල් කොටසක් ඉතිරි කරනවා.

ජීවිතේ වෙච්චි සමහර සිදුවීම් අමතක කරන්න හිමායාට එක අවස්ථාවක් ලැබෙනවා. එහෙම වුණොත් අමතක කරන්නේ මොනවාද?

ජීවිතයට මුණගැහුණ සමහර මිනිසුන් පසුකාලීනව හරි දරුණු වුණා. මම ඉස්සර හරි ඉක්මනට මිනිසුන්ට රැවටෙනවා. කතා කළ සැණින් ”අනේ හරි හොඳයි” කියලා යාළුවෝ විදිහට ආශ්‍රය කරපු සමහරුන් නිසා මගේ හිත රිදුණා. ඉස්සර මම දැක්ක ගමන් ”හරි හොඳයි ෂෝක්” කියලා මම ගැන හැමදේම කියලා මගේ ඇඟේ ඇඳගෙන ඉන්න ඇඳුම පවා දීලා, මට කන්න නැතත් උයලා කන්න දුන්නා. මගේ බැංකු පොත්වල මුදල් පවා ඇදලා මම දුන්නා. එවැනි මිනිසුන්ව අමතක කරලා දාන්න පුළුවන් නම් ලොකු දෙයක්.

මේ කලාවට අමතරව හිමායාට වෙනත් ක්ෂේත්‍රයක් හදාරන්න එක අවස්ථාවක් ලැබෙනවා. එහෙම වුණොත් හදාරණ විෂය මොකක්ද?

මම තාරකා විද්‍යා ක්ෂේත්‍රය ඉගෙන ගන්න හරි ආසයි. පුංචි කාලේ ඉඳන් ඒ ක්ෂේත්‍රය හදාරන්න ආසාව තිබුණට ඒකට මට ලොකු දැනුමක් නැහැ. මම ඉස්සර ගණන් විෂයට හරි දුර්වල ළමයෙක්. හැබැයි චූටි කාලේදී මම අහස දිහා බලාගෙන ඉන්න ආසා කළා. අදටත් මම නාසා එකට සම්බන්ධ බොහෝ දේවල් අන්තර්ජාලය ඔස්සේ බලනවා.

රටේ පවතින ආර්ථිකයත් එක්ක බොහෝදෙනා මේ වෙද්දී විදේශගත වෙන්න උත්සාහ කරනවා. හිමායාටත් හොඳ රටකට, හොඳ වැටුපකට, හොඳ රැකියාවකට යන්න අවස්ථාව ලැබෙනවා. එහෙම වුණොත්?

කොහොමටත් ලංකාවෙන් වෙනත් රටකට යන්න මගේ බලාපොරොත්තුවක් තියෙනවා. ඒ නිසා එහෙම අවස්ථාවක් ලැබුණොත් මම ඒ අවස්ථාව බාරගනීවි.

දිශානි

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්