Jul
15

ජනාධිපතිගේ වැදගත් දේශපාලනය

 
1019 Views
   
 

කෘෂි විද්‍යාව පිළිබඳ විදේශීය අධ්‍යාපනයක් ලද ආචාර්යවරයකු ගුවන්විදුලි සාකච්ඡාවකදී දැක්වූ අදහසක් මෙහි සටහන් කිරීමෙන් මෙම ලිපිය ආරම්භ කිරීම සුදුසුය. එම ආචාර්යවරයාට අනුව දියුණු රටවල් කාබනික වගාවට කැමැතිය. එහෙත් පොහොර සමාගම්වල බලපෑම හා එම සමාගම් ලබන අධික ලාභය නිසා එම රටවල නායකයන් කාබනික වගාව සම්බන්ධයෙන් ඍජු තීන්දු තීරණ ගන්නේ නැත. තව අතෙකින් බලන විට රසායනික පොහොර යනු ජා’වාරමකි. එම ජා’වාරමට බහුල ලෙසින් ගොදුරු වන්නේ දුප්පත් රටවල්ය. අපේ කෘෂිකර්ම අමාත්‍යවරයා පෙන්වා දෙන අන්දමට ශ්‍රී ලංකාවේ පො‍හොර වෙළෙඳාමේ අත යට ගනුදෙනු ප්‍රමාණය පමණක් රුපියල් බිලියන ගණනකි. මේ මුදල් කන්දරාව අතහරින්නට රසායනික පොහොර වෙළෙඳුන් කැමැති නැත. පොහොර සඳහා විරෝධතා වැඩි වන තරමට පොහොර සමාගම් කැමැතිය.

රසායනික පොහොර හා කෘමිනාශක තෙල් යළිත් පිටරටින් ගෙන්වීමට රජය තීරණය කරනු ඇතැ’යි රාවයක් මේ දිනවල පැතිර යයි. එය රජයේ වගකිව යුතු අංශ ප්‍රතික්ෂේප කර ඇතත්; ප්‍රචාරය දිගටම සිදු වෙයි. එය රසායනික පොහොර සමාගම්වල නියෝජිතයන්ගේ උපාය මාර්ගයක් වන්නටත් පුළුවන. දැනට කාබනික ‍ වගාව සඳහා වේගයෙන් හුරු වන ගොවියා අ’කර්මණ්‍ය කිරීම එහි ඉලක්කය වන්නටත් පුළුවන. ජනාධිපතිවරයා රසායනික පොහොර ආනයනය තහනම් කිරීම සම්බන්ධයෙන් ඉතා පැහැදිලි ප්‍රකාශයක් සමාජගත කර තිබේ. ඊට අනුව පළමුව ගනු ලැබූ තීන්දුව කිසිදු බලවේගයක් නිසා වෙනස් කරන්නේ නැත යන්නය. ගොවියා අසත්‍ය ප්‍රචාරවලට නොව: රාජ්‍ය නායකයාගේ කියමනට සවන්දීම වැදගත්ය. එම කියමනට අනුව කාබනික වගා ප්‍රතිපත්තිය වෙනස් වන්නේ නැත.

ජගත් සංවිධාන කිහිපයක් සේම දියුණු රටවල් කිහිපයක් ද අපේ කාබනික වගා ප්‍රතිපත්තිය අගය කරමින් ඊට සහාය දීමට එකඟතාව පළ කර තිබේ. ජර්මනියේ රාජ්‍ය නායිකාවගේ අවධානය ද ශ්‍රී ලංකාවේ කාබනික වගාව කෙරෙහි යොමු වී ඇත. අපේ කාබනික වගාව සාර්ථක කරගතහොත් යුරෝපීය වෙළෙඳපොළ අල්ලාගත හැකි බව ඉතා පැහැදිලිය. ඉන්දියාවේ සිකීම් ප්‍රාන්තය කාබනික රාජ්‍යය ලෙස හඳුන්වනු ලබන අතර එහි නිෂ්පාදිත එළවළු, පලතුරු ආදියට ලෝක වෙළෙඳපොළෙහි හොඳ ඉල්ලුමක් පවතී. බොහෝ රටවල වෙළෙඳ සංකීර්ණ තුළ කාබනික වගාවේ අස්වැන්න අලෙවි කිරීම සඳහා වෙනම ස්ථාන පවත්වාගෙන යනු ලැබේ. එම ආහාර භෝග මිලෙන් අධිකය. ධනවත් පාරිභෝගිකයෝ මෙ ස්ථාන කරා ඇදී එති.

කාබනික වගාව ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නොවේ. අපේ පාරම්පරික කෘෂිකර්මය සිදු වූයේ ගොවියා විසින්ම සකස් කර ගනු ලබන කාබනික පොහොර ඔස්සේය. රජ දවස වෙල් ලක්ෂයක් වගා කළේ පිටරටින් රසායනික පොහොර ගෙන්වා ගෙන නොවේ. අප අවට පරිසරය තුළ පොහොර නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය තිබේ. පිදුරු ඉතා හොඳ පොහොරකි. ගොම ඉතා හොඳ පොහොරකි. තෘණ වර්ග තවත් හොඳ පොහොරකි. අළු කෘමිනාශකයකි. කොහොඹ ඇට කෘමි නාශකයකි. ශ්‍රී ලංකාව රසායනික පොහොරවලට යොමු වූයේ 1960 ගණන්වලය. එදා රසායනික පොහොර ස්වල්ප වශයෙන් භාවිත කළේ ද අලුත් වී වර්ගවලටය. පොහොර සමාගම් විසින් යොදන ලද උපක්‍රමවලට අපේ ගොවියන් කෙමෙන් ගොදුරු වී ඇති බව පැහැදිලිය. දැන්වත් එය වෙනස් විය යුතුය.

කාබනික වගාවට එරෙහිව ගෙන යන ප්‍රචාරය වන්නේ එය වාණිජ වගාවන්ට නොගැළපෙන බවය. තව අතෙකින් ගෙවතු වගාවේ දී ද කාබනික පොහොර යෙදීමෙන් අස්වැන්න අඩුවන බවට ප්‍රචාරයක් පවතී. කෘෂි විද්‍යාඥයන්ගේ මතයට අනුව එහි කිසිදු සත්‍යතාවක් නැත. රසායනික පොහොර ප්‍රචලිත වූ සමයේ පටන් මේ දක්වාම කාබනික වගාවට යොමු වූ පිරිසක් රටේ සිටිති. ඒ සඳහා ක්‍රියාත්මක වන ගොවි සංවිධාන කිහිපයක් ද ඇත. එම ගොවියන්ගේ හා ගොවි සංවිධානවල අත්දැකීමට අනුව කාබනික පොහොර නිසා අස්වැන්න වැඩි වෙනවා මිස අඩු වන්නේ නැත. කාබනික භෝග වගාව නිසා ජාත්‍යන්තර සම්මාන ලැබූ ගොවියෝද ශ්‍රී ලංකාවේ සිටිති. එහෙත් ඒ පරම්පරාව අද නිහඬය. එය විශාල පාඩුවකි. කාබනික වගා ව්‍යාපෘතිය සාමූහික ප්‍රයත්නයක් ලෙස ඉදිරියට ගමන් කළ යුතුව තිබේ.
මීට දසක කිහිපයකට පෙර ගමේ අතීතය සිහිපත් කළ හොත් ගොවියා වක්කඩෙන් ඇඟපත සෝදා ගත්තේය.

ඇතැම් විට පිපාසයට පානය කළේ ද වක්කඩේ වතුරය. ඒවා පිරිසුදු ජලය මිස රසායන මිශ්‍ර විෂ නොවේ. අද වක්කඩකින් තබා ළිඳකින් වතුර බීමත් භ’යානකය. බොහෝ ප්‍රදේශවල ජලය පිරිපහදුකොට පානය සඳහා යොදා ගත යුතුය. රසායනික පොහොර හා කෘමිනාශක තෙල් නිසා භූගත ජලය පවා අ’පවිත්‍ර වී ඇත. රජරට වකුගඩු රෝගය ශීඝ්‍රයෙන් පැතිර යයි. රටේ කුඹුරු යහමින් ඇති පළාත්වල මී උණ රෝගය පැතිර යයි. රසායනික පොහොර හා කෘමිනාශක තෙල් නිසා අපට හිමි වී ඇත්තේ රෝගී සමාජයකි. අනාගතයේදී තව අලුත් රෝග පැතිර යන්නටත් පුළුවන. රසායනික පොහොර සඳහා විශාල විදේශ විනිමයක් වැය කොට ඉන් රෝගී වන සමාජයට ප්‍රතිකාර කිරීම සඳහා තවත් විශාල මුදලක් වැය කිරීමට අපට සිදු වී ඇත.

බුදු වදනට අනුව උතුම්ම දානය ධර්මදානය යි. උතුම්ම ලාභය සෞඛ්‍ය සම්පන්න ජීවිතයයි. ජනාධිපතිවරයාගේ කාබනික වගා ව්‍යාපෘතිය තුළ මිනිසාට සත්‍යය වටහා දෙන ධර්මදානය තිබේ. උතුම්ම ලාභය වන නිරෝගීකම හිමි කර දෙන සාධකය ද තිබේ. එසේ නම්, මේ දෙක එකට ගත් ජනාධිපතිවරයාගේ දේශපාලනය ද වැදගත් එකක් විය යුතුය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්