Feb
24

රිදී තිරයේ දිග හැරෙන නවතම ආදර කතාව – මොනාලිසා

 
610 Views
   
The-latest-love-story-to-unfold-on-the-silver-screen---Mona-Lisa  

කෝවිඩ් වසංගතයෙන් පසු නැවත විවෘත වුණු මෙරට සිනමාශාලා තුළ සිනමාපට රාශියක් සාර්ථකව ප්‍රදර්ශනය වුනා. Spider Man: No Way Home, Encanto, Maanadu වැනි ජනප්‍රිය විදෙස් සිනමාපට අතරේ කබඩි, Colombo වැනි ලාංකීය චිත්‍රපටත් සාර්ථකව ප්‍රදර්ශනය වුනු නිසා මීට පෙර තිරගත නොවුනු තමන්ගේ නවතම නිර්මාණ ප්‍රේක්ෂකයින්ට මුදා හරින්නත් අපගේ සිනමාකරුවන් පෙළඹුනා.

නිහඬ සෙවනැලි, කවුරුවත් දන්නෙ නෑ, ජංගි හොරා, ගිනිමල් පොකුරු වැනි ලාංකීය චිත්‍රපට කිහිපයක්ම පසුගිය සමයේදී තිරගත වීම ඇරඹුණේ එහි ප්‍රතිඵලයක් විදිහටයි.

මේ ආකාරයෙන්, කෝවිඩ් වසංගතයෙන් පසුව ඇරඹි මෙරට සිනමාශාලා තුළ තවත් අලුත්ම සිංහල චිත්‍රපටයක් පසුගියදා තිරගත වීම ආරම්භ වුනා. ‘මොනාලිසා’ යනුවෙන් හැඳින්වෙන එය එරංග සේනාරත්න අධ්‍යක්ෂණය කළ නවතම සිනමා නිර්මාණයයි. සුරයහන ගිනි ගනී, ගිනිගත් මධුසමය, රෝස පැටික්කි, සිනාසුනා ආදරෙන් වැනි වාණිජමය චිත්‍රපට අධ්‍යක්ෂණය කළ එරංග සේනාරත්න කලකට පසු කලාත්මක සිනමාවට පිවිසුණේ මොනාලිසා චිත්‍රපටය හරහායි. අහම්බයකින් මුණ ගැහෙන තරුණයෙකු සහ තරුණියක වටා මේ සිනමාපටයේ කතාව ගෙතී තිබෙන බවයි අධ්‍යක්ෂකවරයා විසින් පවසන්නේ.

පසුගිය පෙබරවාරි 18වනදා සිට ප්‍රදර්ශනය ඇරඹි මොනාලිසා සිනමාපටය දිවයින පුරා සිනමාශාලා 15කට ආසන්න ප්‍රමාණයකදී දැන් නැරඹීමට හැකියාව තිබෙනවා. “මධුවන්ත”ගේ චරිතය රඟන අමිල කරුණානායක සමඟින් “කල්පනා”ගේ චරිතය රඟපාන මධුෂානි වික්‍රමසිංහ මෙහි ප්‍රධාන චරිත සඳහා එක්ව සිටින අතර චිත්‍රපටයේ සෙසු චරිතවලට පණ පොවන්නේ සුලෝචනා වීරසිංහ, බුද්ධික ජයරත්න, සුසංග කහඳවලආරච්චි, කුසුම් පෙරේරා, රින්සිලි වීරරත්න වැනි නළු නිළි පිරිසකුයි. කලක පටන් නිරූපිකාවක වශයෙන් ක්ෂේත්‍රයේ නමක් දිනාගෙන සිටින මධුෂානි වික්‍රමසිංහගේ පළමු සිනමා රංගනය මොනාලිසා තුළින් දැකගැනීමට හැකියි. ඇගේ දෙවන චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේද එරංග සේනාරත්න විසින්ම බව අන්තර්ජාලයේ සඳහන්..!

පසුගිය කොරෝනා සමයේදී නිෂ්පාදන කටයුතු ඇරඹුණු මොනාලිසා සිනමාපටයේ මූලික දර්ශනතල සඳහා කොළඹ අවට ප්‍රදේශ යොදා ගැනුණත්, සෙසු රූගත කිරීම්වලට දිවයින පුරා දර්ශනතල ගණනාවක්ම යොදාගෙන තිබෙනවා. මෙරට චිත්‍රපටයක් තිරගත කිරීමේ සාම්ප්‍රදායික ක්‍රියාවලියට පිටින් යමින්, නව බෙදාහැරීමේ ජාලාවක් හරහායි මෙහි ප්‍රදර්ශන කටයුතු සිදුවී තිබීමත් විශේෂත්වයක්.

චිත්‍රපටයේ අධ්‍යක්ෂණය මෙන්ම තිර පිටපත රචනය සිදු කර තිබෙන්නේ ද එරංග සේනාරත්න විසිනුයි. කැමරාකරණයෙන් උපුල් ප්‍රියාන් සම්බන්ධ වී සිටින අතර කලා අධ්‍යක්ෂණය නුවන් බුද්ධික ලියනවඩුගෙනි. මොනාලිසා හි සහය අධ්‍යක්ෂකවරයා ගයාන් මහගලගේ යි.
ජේ. වසයිලාවෝගේ සංගීතයෙන් හැඩ වන මෙහි ගීත ගායනයෙන් එක්ව සිටින්නේ සූර්යා දයාරුවන් සහ භාෂි මධුභාෂිණි යි. මොනාලිසා, යායු එන්ටටේන්මන්ට් වෙනුවෙන් නිශාන්ත ගල්හේනගේ නිෂ්පාදනයකි.

පූර්ව ප්‍රචාරක පටය සහ ගීත කිහිපයක්ම මේ වනවිට අන්තර්ජාලයට නිකුත් කර තිබෙන අතර පහත සබැඳිය ඔස්සේ එය නැරඹිය හැකියි.

කවිනු වීරක්කොඩි

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්