May
30

තාත්තා කෙනෙක් වුණා කියලා ලොකු වෙනසක් නැහැ

 
1641 Views
   
 

මේ දවස්වල නම් විශේෂ වැඩක් නැහැ. කොවිඩ් ප්‍රශ්න නිසා රූගතකිරීම් නතර කරලා තියෙන්නේ. අලුත් ටෙලිනාට්‍යයකට සම්බන්ධ වුණා.

ඔබව බොහෝ දෙනෙක් දැන හඳුනන්නේ සුවිශේෂ චරිතයක් තුළින්. ඒ මතකය අවදි කළොත්?

සිද්ධාර්ථ ගෞතම ටෙලිනාට්‍යයේ සිද්ධාර්ථ චරිතය හරහා තමයි මාව ප්‍රේක්ෂකයන් දැන හඳුනා ගත්තේ. එවැනි උතුම් චරිතයක් තුළින් ප්‍රේක්ෂකයන් අතරට මට යෑමට පෙර පිනක් තියෙන්න ඇති. මොකද මෙවැනි චරිතයක් හැමෝටම කරන්න ලැබෙන්නේ නැහැ. ඒ චරිතය වෙනුවෙන් මාව තෝරාගත්ත අකිල අබේරත්න අයියාට මම විශේෂ ස්තුතිය පුදකරනවා. මොන තරම් චරිත කළත්, මම නිරූපණය කළ සිද්ධාර්ථ චරිතය කිසිම දවසක අමතක වෙන්නේ නැහැ.

 

 

ඔබ එවැනි සුවිශේෂ චරිතයක් නිරූපණය කළ නිසා නිර්මාණ තෝරාගැනීමේදී ලොකු අවධානයක් යොමු කරනවද?අනිවාර්යයෙන්ම. මට යම් චරිතයක් නිරූපණය කිරීමට ආරාධනාවක් ලැබුණොත් මම ඒ ගැන වැඩි සැලකිල්ලක් ඇතිව සොයාබැලීමක් කරනවා. විශේෂයෙන්ම තිර පිටපත සාර්ථක එකක් නම්, අනිවාර්යයෙන්ම රඟපානවා. මට කරන්න බැරි නම්, චරිතයට සාධාරණයක් කරන්න බැරි නම් මම එය ප්‍රතික්ෂේප කරනවා.

ඔබේ තිබුණු කැරලි කොණ්ඩය කැපුවා කියලා ආරංචියි. ඊට විශේෂ හේතුවක් තියෙනවද?

තවම කැපුවේ නැහැ. මට චිත්‍රපටයක රඟපෑමේ අවස්ථාවක් ලැබුණා. ඒ චරිතයේ හැටියට මගේ බාහිර පෙනුම වෙනස් කරන්න සිදුවෙනවා. චිත්‍රපටයේ වැඩකටයුතු පටන්ගත්තාම, එම චරිතයට සාධාරණයක් කිරීම සඳහා මගේ කොණ්ඩය වෙනස් කරන්න සිදුවෙනවා.

කැළුම් දැන් එක්දරු පියෙක්. ඔබ ලබපු අලුත් පදවිය ගැන කතා කළොත්?

ඔව්, මට දැන් මාස හයක විතර පුතෙක් ඉන්නවා. ඔහු ශ්‍රී ආර්ය දාසින්. තාත්තා කෙනෙක් වුණා කියලා ලොකු වෙනසක් නැහැ ඉතින්. පවුලේ වැඩකටයුතු කරගෙන සැහැල්ලුවෙන් ඉන්නවා.

ඔබේ ආදරණීය බිරිය දක්ෂ නර්තන ශිල්පිනියක්. ඇයට රඟපෑමට වරම් ලැබුණේ නැද්ද?

නිර්මාණ කිහිපයකින් ආරාධනා ලැබුණා. දරුවා ලැබෙන්න හිටිය නිසා රඟපෑම් කටයුතු සඳහා යොමුවුණේ නැහැ. ඇය රංගනයට වඩා නර්තනය පැත්තට තමයි වැඩි නැඹුරුවක් දක්වන්නේ.

ඔබේ කලා කටයුතු සඳහා ඇයගෙන් ලැබෙන සහාය කොයි වගේද?

විශේෂයෙන්ම ඒ ගැන කිවයුතුමයි. මගේ කලා කටයුතු ගැන මට වඩා හොයා බලලා කරන්නේ ඇය තමයි. කවදාවත් මට රඟපාන්න එපා කියලා රාමුවකට කොටු කරලා නැහැ. ඇය දෙන නිදහස මට ඒ තරම්ම වටිනවා.

අවසාන වශයෙන් ඔබේ ඉදිරි සැලසුම් ගැන දැනගන්න අපි කැමැතියි?

මම කලාවෙන් කිසි දවසක ඈත් වෙන්නේ නැහැ. හොඳ නිර්මාණ තුළින් මගේ ප්‍රේක්ෂකයන් අතරට යන්න තමයි අදහස. ඒ වගේම මගේ ව්‍යාපාර කටයුතු දියුණු කරගැනීමට බලාපොරොත්තුවක් තියෙනවා.

වසන්ත විතාරණගේ

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්