May
7

වස්තු කන්දරාවක් දුන්නත් රට නම් දාලා යන්නෙ නෑ – කුමුදු නිශාන්ත

 
646 Views
   
I-will-not-leave-the-country-even-if-I-give-a-lot-of-treasures---Kumudu-Nishantha  

කුමුදුට පුංචි කාලයට යන්න එක අවස්ථාවක් ලැබෙනවා. එහෙම වුණොත් කුමුදු යන්න කැමති කොයි කාලේටද?

මගේ තේරෙන වයසේ ඉඳන්ම මම ගතකරපු පුංචි කාලයට මම ගොඩාක් කැමතියි. මම පුංචි කාලේ හිටියේ මාදිවෙලයි. ඒක හරිම සොඳුරුම කාලයක්. පුංචි කාලේ ඉඳන්ම සුදු සරමකුයි, කමිසෙකුයි අන්දවගෙන මල් වට්ටියක් අරගෙන අපේ අම්මා මාව දහම් පාසැල් එක්කරගෙන ගියා. ඒ කාලේ මාගේ අම්මා පොල්අතු වියුවා. ඒ නිසා අම්මා එක්ක පොල් අතු දියේ දාන්න ගියා. අපි පොල්ගස් අසූවක් විතර තිබුණ විශාල වත්තක හිටියේ. ඒ වත්තේ අඹ ගස්, කජු ගස්, පේර ගස් ගොඩාක් තිබුණා. ගෙදර තිබුණ වටපිටාව ඇරුණහම අනිත් සේරම ගස්කොළං තිබුණේ. යම් යම් කටුක අත්දැකීම් නැතිවාම නෙමෙයි. ආර්ථික වශයෙන් අපිහසුතා නොතිබුණාම නෙමෙයි. හැබැයි ඒ ආර්ථික් අපහසු අපිට තේරුණේ නැහැ. අපිට කුඹුරු තිබුණා. ඒ නිසා අවුරුද්ද පුරාම හාල් පොල් සහ කොස් තිබුණ නිසා බඩගින්න දැනුණේම නැහැ. අපි වැඩිපුරම වත්තේ ගස් උඩ හිටියේ. ඒ කාලේ හරි සොඳුරුයි.

මේ කලා ක්ෂේත්‍රයෙන් කුමුදුව ප්‍රතික්ෂේප වෙනවා කියලා හිතන්න. එහෙම වුණොත් කුමුදු මොකද කරන්නේ?

මේ වෙද්දී මම ස්වාධීනව මගේම නිර්මාණ බිහිකරමින් ඉන්නේ. ඒ නිසා කලා ක්ෂේත්‍රය මාව ප්‍රතික්ෂේප කරන්න තරම් හේතුවක් නැතිවෙයි. කලාවට මම හරි ආදරේ මනුස්සයෙක්.

දේශපාලනයට අවතීර්ණ වෙන්න කුමුදුට ලොකු අවස්ථාවක් සහ ආරාධනාවක් ලැබෙනවා. එහෙම වුණොත් මොකද කරන්නේ?

එහෙම ආරාධනා සහ අවස්ථා කිහිපයක්ම මට ලැබුණා. නමුත් අපි මුලින්ම පරිසරය හඳුනාගන්න ඕනේ. මගේ කියවීම අනුව ආසියාතිකය පුරාම දේශපාලනය හැසිරෙන විදිහ බලද්දී මනුස්සයෙක් විදිහට පය ගහලා කරන්න පුළුවන් දේශපාලනයක් මේ ආසියාතික රටවල නැහැ කියලයි මම විශ්වාස කරන්නේ. බටහිර රටවල නම් බොහෝම බුද්ධිමත් ක්‍රමානුකූලව හැඩගැහිච්චි ක්‍රමවේදයක් ඇතුළේ ඉතාම හොඳ ක්‍රියාවලියක් සිදුවෙනවා. නමුත් ආසියාතික රටවල එහෙම නැහැ. අපේ රටේ දේශපාලනය කියන්නේ ඒ මොහොතේ තියෙන කෙනාගේ හැසිරවීමට තමයි මේ රට පාලනය වෙන්නේ. අනිත් සියලුදෙනා ඒ කාලවකවානුව තුළ ඒ බලය ඇතුළේ තමයි ජීවත් විය යුතු වන්නේ. නමුත් අද වෙද්දී ලංකාවේ ඉතාම වැදගත් හැරවුමක් සිදුවෙමින් පවතිනවා. අද තාරුණ්‍යය ඇතුළු රටේ බහුතරයක් ඉතාම බුද්ධිමත් විදිහට මේ පවතින තත්ත්වය වෙනස් කරන්නට උත්සාහ ගන්නවා.

කුමුදුට අධ්‍යක්ෂණයට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබෙනවා. එහෙම වුණොත් මොකද හිතෙන්නේ?

එහෙම අවස්ථාවක් ලැබුණොත් ඉතාම සතුටින් ඒ අවස්ථාවත් බාර ගන්නවා. මම සිනමාකරණය සම්බන්ධව ඉගෙන ගත්තා. ඒ සම්බන්ධව මගේ ගුරුතුමා වන්නේ ප්‍රසන්න විතානගේ මහතායි. ඊට අමතරව මම කලාව සම්බන්ධව මහේන්ද්‍ර පෙරේරා, අනෝජා වීරසිංහ, ධම්ම ජාගොඩ, එම්.ඒ. පෙරේරා, එඩ්වින් ආරියදාස, සුගතපාල ද සිල්වා, සුනන්ද මහේන්ද්‍ර, ඩග්ලස් සිරිවර්ධන වගේ බොහෝ මහත්ම මහත්මීන් යටතේ මේ විෂය හැදෑරුවා. මට බොහෝ නිර්මාණ අධ්‍යක්ෂණය කරන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. හොඳ එක චිත්‍රපට නිර්මාණයක් මම මැරෙන්නට කලින් අධ්‍යක්ෂණය කරන්නට තිබුණොත් මට ඒ හොඳටෝම ඇති. ඒ වෙනුවෙන් මම බලාපොරොත්තුවෙන් ඉන්නවා.

කෝටි ගණනක විශාල ලොතරැයියක් ඇදුණා කියලා හිතන්න. එහෙම වුණොත් මොකද කරන්නේ?

මට එහෙම හිතෙන වෙලාවලුත් තියෙනවා. හැබැයි ඒක පරාර්ථකාමී අදහසක් වෙනුවෙනුයි. මට තවදුරටත් මගේ ජීවිතය ඇතුළේ විඳින්න දේවල් නැහැ. මට ජීවත්වෙන්න හැකි මට්ටමක් තියෙනවා. නමුත් මට පුළුවන්කමක් තිබෙනවා නම් ලෝකයේම පවතින දෙයක් නිර්මාණය කරන්නට, මම ඒ දේ කරනවා. මම මේ රටේ ඉන්න අනාථ, අසරණ දරුවන් වෙනුවෙන් අධ්‍යාපන නිකේතනයක් හදන්න ආසයි. මම මරුණත් ඒක පවතීවි. කාත් කවුරුත් නැති දරුවන්ට ඒ නිකේතනය තුළින් ජීවිතය දිනාගන්නට පුළුවන් නම් කොයිතරම් හොඳද? ඒකට විශාල මුදලක් අවශ්‍ය වෙනවා. ඒකට ඉතින් මට ලොතරැයියක් ඇදෙන්නම ඕනේ.

කලාවට අමතරව වෙනත් විෂයක් ඉගෙන ගන්න කුමුදුට අවස්ථාව ලැබෙනවා. එහෙම වුණොත් ඉගෙන ගන්නා විෂය මොකක්ද?

මම ලෝක විෂය සහ ජීවිත විෂය වැඩිපුර ඉගෙන ගන්න ආස කරනවා. මගේ පෞද්ගලික පුස්තකාලයේදීත් වැඩිපුර තිබෙන්නේ සමාජ විද්‍යා පොත්. ලෝකය පවතින්නේ මිනිස්සු නිසයි. ඒ නිසා ඒ විෂයන් දෙක මම ඉගෙනගන්න, හදාරන්න කැමතියි.

ජීවිතේ වෙච්චි සිදුවීම් අතරින් එක් සිදුවීමක් අමතක කරන්න කුමුදුට එක අවස්ථාවක් ලැබෙනවා. එහෙම වුණොත් කුමුදු අමතක කරන්නේ?

මම මුහුණ දුන් සිදුවීම් ඒ මොහොතේ මට කටුක අත්දැකීම් වුණාට මම අද ඉන්න තැන ඉඳන් ආපස්සට හැරිල බලද්දී ඒ අත්දැකීම් ලැබීම ගැන මම සතුටු වෙනවා. ඒ අත්දැකීම් නොලැබෙන්න මගේ ජීවිතේ පැත්තක් වැහිලා තියෙන්නත් තිබුණා. ඒ නිසා මම සිදුවීම් අමතක කරනවාට වඩා මගේ ජීවිතේ සිදුවුණ සිදුවීම් නැවත මතක් කරලා එදා මට දකින්න බැරිවුණ, නොදැනිච්චි පැත්තක් අද දකින්න පුරුදු වෙලා ඉන්නවා.

නොකරපු වරදකට කුමුදුට දඬුවම් ලැබෙනවා. එහෙම වුණොත් මොකද කරන්නේ?

මගේ මුළු ජීවිතය පුරාවටම මේ රට ඇතුළේ ඉපදිලා නොකරපු වරදකට වන්දි ගෙවන එක තමයි මේ අද වනතුරා මම කරන්නේ. මේ මොහොතේදී මේ රටේ බහුතරයක් නොකරපු වරදකට චූදිතයෝ වෙලා වන්දි ගෙවනවා. අද අපි මේ දුක් විඳින්නේ අපි කරපු වැරදිවලට නොවේ. පාලකයෝ මුළු ලෝකයටම අපිට ණයකාරයෝ කරල හමාරයි.

අද රටේ පවතින ආර්ථිකයත් එක්ක, හොඳ රටකට, හොඳ වැටුපකට, හොඳ රස්සාවකට යන්න කුමුදුට අවස්ථාව ලැබෙනවා. එහෙම වුණොත් කුමුදු කැමැතිද?

මොනතරම් වස්තු කන්දරාවක් එක්ක එවැනි අවස්ථාවක් දුන්නත් මම ඒක බාරගන්න එකක් නැහැ. මට මගේ රට ඇතුළේ මේ මිනිස්සුන්ගේ ආදරය, කලාකාරයෙක් විදිහට මම ගොඩනගා ගත්තු දේ සෙනෙහස මට වටිනවා.

දිශානි / සේයාරූ I අන්තර්ජාලයෙන්

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්