Sep
9

රූපවාහිනි, ජංගම දුරකථන, චීස්, චොකලට්, පළතුරු වර්ග සහ යට ඇඳුම් ආනයනයටත් මහ බැංකුවෙන් සීමා

 
622 Views
   
 

අත්‍යවශ්‍ය නො වන හා හදිසි නොවන භාණ්ඩ ආනයනය කිරීම අධෛර්යය කිරීමට මහ බැංකු මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව මුදල් මණ්ඩලය වහාම ක්‍රියාත්මක වන පරිදි එවැනි භාණ්ඩ ආනයනයේදී සියයට සියයක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් පැනවීමට සියලුම බලපත්‍ර බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ජාතික ඉතිරි ඉතිරිකිරීමේ බැංකුවට කොන්දේසි පනවා තිබෙනවා.

මේ යටතේ ජංගම දුරකතන, ගෘහ විදුලි උපකරණ, රෙදිපිළි, ගෘහ භාණ්ඩ, පළතුරු, සුවඳ විලවුන් ඇතුලු භාණ්ඩ වර්ග 623ක් ආනයනයේදී නව තීරණය ක්‍රියාත්මක වනු ඇති. ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ මෙලෙස ලයිස්තුගත කරන ලද භාණ්ඩ ආනයනය සඳහා ණයවර ලිපි විවෘත කිරීමේ දී සියයට සියයක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් වහාම ක්‍රියාත්මක වන පරිදි පැනවීමට මුදල් මණ්ඩලය තීරණය කළ බවයි. ඒ අනුව මෙම ලැයිස්තුගත කාන්ඩයේ යම් භාණ්ඩයක් ආනයනය කිරීමේදී ඊට අදාළ සම්පූර්ණ වටිනාකම ආනයනකරු විසින් වානිජ බැංකුවක තැන්පත් කළ යුතු වනවා.

අධික ආනයන අධෛර්යමත් කිරීම මගින් විනිමය අනුපාතිකයේ ස්ථාවරභාවය සහ විදේශ මුදල් වෙළෙඳපොලේ ද්‍රවශීලතාව රැකගැනීම සඳහා මුදල් මණ්ඩලය මෙම තීරණය ගත් බවයි මහ බැංකුව නිවේදනය කරන්නේ. මෙම ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවන්ට යටත්වන භාණ්ඩ ආනයනය සඳහා 2019 වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 1,057.9 වැයකර තිබෙනවා. මෙම කාණ්ඩයේ භාණ්ඩ ආනයනය සඳහා පසුගිය වසරේ දරනු ලැබූ වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 871.2ක්. එමෙන්ම මේ වසරේ ජූලි මාසය දක්වා වූ මාස 7 තුල සිදුකළ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 753.4ක්.

මෙම භාණ්ඩ වර්ගීකරණය යටතේ වැඩිම මුදලක් වන ඇමෙරිකානු ඩොලර් 250.3ක් වැය කර ඇත්තේ ජංගම දුරකතන සහ ස්ථාවර දුරකතන ඇතුලු විදුලි සංදේශ උපකරණ ආනයනය සඳහායි. මේ වසරේ ජූලි මාසය දක්වා විදුලි පංකා, රූපවාහිනී, ශීතකරණ, රෙදි සෝදන යන්ත්‍ර ඇතුලු ගෘහ විදුලි උපකරණ සඳහා වැය කර ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 160.6ක්. මෙම වර්ගීකරණය යටතේ වැඩිම ආනයන ප්‍රමාණයක් සිදුකර ඇත්තේ රෙදිපිලි හා උපාංග යටතේයි. ළඳරු ඇඳුම්, කාන්තා සහ පිරිමි නිමි ඇඳුම්, යට ඇඳුම්, පාවහන්, අත් ඔරලෝසු , අව් කණ්ණාඩි ඇතුලු භාණ්ඩ වර්ග 266ක් මෙම කාණ්ඩය යටතට ගැනෙනවා. එම ආනයනයන් සඳහා මේ වසරේ පළමු මාස 7 තුල පමනක් වැයකළ මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 102.3ක්.

මේ වසරේ පළමු මාස 7 ඇතුලත ගෘහ භාණ්ඩ, විසිතුරු නිෂ්පාදන, පිඟන් භාණ්ඩ ඇතුලු මුලුතැන්ගෙයි උපකරණ ආනයනය සඳහා වැයකර ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 63.8ක්. මීට අමතරව මෙම නව කොන්දේසි යටතේ රබර් ටයර් සහ වායුසමීකරණ යන්ත්‍ර ආදිය ආනයනය ද අධෛර්යමත් කරන අතර මේ වසරේ මුල් මාස 7 තුල පමණක් ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 74.5ක් වැය කර තිබෙනවා. චොක්ලට්, මෝල්ට්, චීස්. බටර්, පැස්ටා වැනි ආහාර පාන ආයනය සඳහා ද මහ බැංකුව විසින් වාණිජ බැංකු වෙත පනවා ඇති නව කොන්දේසි අදාල වනවා. එමෙන්ම බියර් වයින් ඇතුලු මත්පැන් වර්ගද, සුවඳ විලවුන් සහ සේදුම් ද්‍රව්‍යයද, නැවුම් ඇපල්, මිදි, දොඩම් ඇතුලු සියලු පළතුරු හා පළතුරු යුෂ වැනි දෑ ආනයනයේදී සියයට සියයක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවයට යටත් වනවා.

මීට අමතරව ආහාර නොවන පාරිභෝගික භාණ්ඩ යටතට ගැනෙන දුම්කොල නිෂ්පාදන, සෙල්ලම් බඩු, සංගීත භාණ්ඩ හා ලිපි ද්‍රව්‍ය ආනයනයේදීත් නව කොන්දේසිවලට යටත් වනවා. එමෙන්ම මෙම ලයිස්තුගත භාණ්ඩ වර්ග ආනයනය සඳහා බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව හරහා කිසිදු ණය මුදලක් නිකුත් නොකළ යුතු බවටත් මහ බැංකුව නියෝග කර තිබෙනවා.

 

#

 

 

#

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්