Mar
21

ජයලත් මනෝරත්න එහෙම කියද්දී මම දණගහලා වැන්දා – රුවී ලක්මාලි හේරත්

 
482 Views
   
When-Jayalath-Manorathne-said-that-I-knelt-down-and-worshiped---Ruvi-Lakmali-Herath  

රුවී.. මේ දවස්වල මොනවද කරන්නේ?

මේ දවස්වල සුපුන් රත්නායක මහතාගේ ”තුන්පනේ” ටෙලිනාට්‍යයේ රූගත කිරීම්වලට සහභාගි වෙනවා. ඒක සුදු, කළු, අළු කියන මිනිසුන්ගේ චරිතත් එක්ක කතා කරන තේමාවක්. ”තුන්පනේ” ටෙලිනාට්‍යයේ මම චරිත දෙකක් නියෝජනය කරනවා.

මේ වෙද්දි රුවී රඟපෑ ”ආශාවරී” චිත්‍රපටය තිරගත වෙනවා. මොකද හිතෙන්නෙ?

ගොඩක් සතුටුයි. ”ආශාවරී” චිත්‍රපටය තේජා ඉද්දමල්ගොඩ මහතාගේ කුළුඳුල් නිර්මාණය. හැබැයි තේජා අයියා මේ ක්ෂේත්‍රයට අලුත් කෙනෙක් නෙමෙයි. ඔහු ඉතා දක්ෂ නිර්මාණකරුවෙක්. තේජා අයියගේ එක හීනයක් තමයි මේ හැබෑ වුණේ. ඔහු ඉතා දක්ෂ වගේම ඉතාම ගුණයහපත් අධ්‍යක්ෂකවරයෙක්. ”ආශාවරී” හරි අපූරු නිර්මාණයක්. ආදරණීය නිර්මාණයක්.

රුවීට ”ආශාවරී” චිත්‍රපටයේ රඟපාන්න ලැබුණේ දමිළ යුවතියකගේ චරිතයක්?

ඔව්.. මම වැඩ කළේ ජයලත් මනෝරත්න අයියා එක්කයි. මේ ඔහුගේ අවසාන චිත්‍රපටය. ජයලත් මනෝරත්න මහතා මගේ අයියට රඟපෑවා. මම මේ ක්ෂේත්‍රයට තවමත් ආධුනිකයි. ජයලත් මනෝරත්න අයියා එක්ක මට ”ආශාවරී” චිත්‍රපටයේ රඟපාන්න තිබුණේ එක කොටසයි. ඔහු මට පුදුමාකාර සහයෝගයක් වගේම හිතට හයියක් ලබා දුන්නා. නොදන්නා බොහෝ දේ කියලා දුන්නා. මම ඒ කොටස් රඟපාලා අවසන්වෙලා අයියට වැන්ඳාම ඔහු ”ඔයාට කරන්න පුළුවන් උපරිමයෙන්ම ඔයා කළා. ඔයාට හොඳ අනාගතයක් තියෙනවා පුතේ” කියලා මගේ ඔළුව අතගෑවා. ඒක මට කවදාවත් අමතක වෙන්නෙ නැහැ. ඔහු වැනි ප්‍රවීණයෙක්ගෙන් ලැබුණු ඒ ආශිර්වාදය හරිම වටිනවා.

අද ”ආශාවරී” සිනමාපටය දකිද්දි මොකද හිතෙන්නෙ?

ගොඩක් සතුටුයි. මට මගේ කොටස් රඟපාන්න තිබුණේ සාරංග දිසාසේකර අයියා එක්කයි. මගේ පෙම්වතා වුණේ සාරංග අයියයි. ඒ වගේම ජයනි අක්කත් මට මුණගැහුණා. එවැනි ප්‍රවීණ කලාකරුවන් එක්ක රඟපාන්න ලැබීම මම ලබපු භාග්‍යයක්. ඒ හැමෝටම වගේම තේජා අයියා ඇතුළු මුළු කණ්ඩායමටම මේ මොහොතේ මම ස්තූති කරනවා.

රුවී.. මේ හැබෑවෙලා තියෙන්නෙ පුංචි කාලේ දැකපු හීනයක්ද?

මම පුංචි කාලේ ඉඳන් ආසා කළේ නර්තන ගුරුවරියක් වෙන්නයි. මම නැටුම් හැදෑරුවා. මම ඉගෙන ගත්තේ බණ්ඩාරවෙල විශාකා බාලිකා මහ විදුහලෙන්. මම උසස් පෙළ දක්වා නැටුම් හැදෑරුවා. පසුකාලීනව මම නර්තන ගුරුවරියක් ලෙස වසර හතරක් සේවය කළා.

ගුරුවරියක් වුණු ඔබගේ මේ ක්ෂේත්‍රයේ හැරවුම වුණේ කොතැනද?

මම 2009 අවුරුද්දේ ඌව පළාතෙන් සිරිකත අවුරුදු කුමරිය වුණා. පළමු ස්ථානය දිනාගත්තට පස්සේ මට පුවත්පත් කවර හැඩ කරන්න අවස්ථාව ලැබුණා. ඊට පෙර මම පාසල් වේදිකාවේ රඟපාලා තියෙනවා. ඒ වගේම මම අවුරුදු දොළහෙදී අනුර ජයවර්ධන අයියාගේ ”බාඳුරා දේශය” ටෙලිනාට්‍යයේ රඟපාන්න පාසල ඔස්සේ අවස්ථාවක් ලැබුණා. තවත් ආරාධනා ලැබුණත් අධ්‍යාපන කටයුතුවලට බාධා වේවි යැයි සිතුණු නිසා මම ඒවාට සම්බන්ධ වුණේ නැහැ.

පාසලේදි මොනවගේ චරිතයක්ද?

පාසල් යන කාලෙදි මම හරිම අහිංසක ළමයෙක්. වැඩිය කතාබහ කළේ නැහැ. පාසලේදි හැමෝම මට ආදරෙයි. මට අයියලා දෙන්නෙක් ඉන්නවා. බණ්ඩාරවෙල නගරයේ තමයි අපි හිටියේ. ඒ නිසා ඒ කාලේ ඇළේ දොළේ පැනලා සෙල්ලම් කරන්න අපිට අවස්ථාව ලැබුණේ නැහැ. හැබැයි අපිට අහළ පහළ මුස්ලිම්, දෙමළ, හැම ආගමකම අපේ වයසේ යාළුවෝ හිටියා. ඒ නිසා අපි හරිම සහයෝගයෙන් එකතුවෙලා සෙල්ලම් කළා. අදටත් මට හැම ආගමකම, ජාතියකම යාළුවෝ ඉන්නවා. ඒ කාලේ අපි එක පවුලේ ළමයි වගේ සෙල්ලම් කළා. මගේ අයියලා දෙන්නා මට වඩා ටිකක් ලොකුයි. ඒ දෙන්නා පුංචි කාලේ මාව කරේ තියාගෙන දිව්වා. අදටත් ඒ සහෝදර බැඳීම ඒ විදිහටම තියෙනවා.

රුවී වෙළෙඳ දැන්වීම් බොහොමයකටම සම්බන්ධ වුණා නේද?

ඔව්.. මේ වෙද්දි මම වෙළෙඳ දැන්වීම් බොහොමයකට සම්බන්ධවෙලා තියෙනවා. මේ වෙද්දි මම බොහෝ වෙළෙඳ නාමයන් යටතේ වෙළෙඳ දැන්වීම් කරලා තියෙනවා.

වෙළෙඳ දැන්වීම්වලට සමීප කෙනෙක්වම ඔබ ජීවියටත් සමීප කරගෙන කියලයි ආරංචිය?

ඔව්.. මම විවාහ වුණේ නාකුල් ප්‍රසාද් සමඟයි. ඔහු වෙළෙඳ දැන්වීම් සහාය අධ්‍යක්ෂකවරයෙක්. ඔහුගෙන් මට මගේ වැඩවලට ලොකු සහයෝගයක් ලැබෙනවා. එයාගෙන් මට ලැබෙන ලොකුම සහයෝගය තමයි මට උපරිම නිදහස දීලා තියෙනවා. විවාහයෙන් පස්සේ ඒ නිදහස බොහෝ දෙනෙක්ට අහිමි වුණත් මට ඒ නිදහස උපරිමයෙන්ම එයා දීලා තියෙනවා. එයාව මට මුණගැහුණේ මම පළවෙනි ටෙලිනාට්‍යයේ තිර පරීක්ෂණයට යද්දියි.

අද ගෙවන ජීවිතය ගැන මොකද හිතෙන්නෙ?

අද ජීවිතය හරිම සුන්දරයි. මම ළඟ මහ ලොකු බලාපොරොත්තු නැහැ. මිල මුදල් ලොකුවට පොදි බැඳගෙන ජීවත්වෙන හීන නැහැ. මම මිනිසුන්ට උදව් උපකාර කරන්න ආසයි. මම සතුන්ට හරි ආදරෙයි. අපේ ගෙදර බල්ලෝ දෙන්නෙක් ඉන්නවා. ඒ කොකෝ සහ ශාෂි. මම හිතේ දුක තියාගෙන ඉන්න කෙනෙක් නෙමෙයි. හිනාවෙලා තියෙන විදිහට සතුටින් ජීවත් වෙන්න මම ආසයි.

දිශානි ජයමාලි / සේයාරූ I සුමුදු හේවාපතිරණ

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්