May
3

මාත් එක්ක අමනාප වුණේ එකම එක්කෙනයි – ලතා වල්පොල

 
878 Views
   
The-only-one-who-was-angry-with-me-was-Latha-Walpola  

සීනු හඬින් ගැයෙන ඇගේ ගී හඬින් දශක ගණනාවක් හෙළ ගී කෙත සරු වෙමින් ඇත. සිංහල සිනමාවේ යුග ගණනක් පුරා තම හඬින් තිරය මත රැඟුම් මවන්නට නිළි රැජනන් වෙනුවෙන් ඇය ගී ගැයුවාය. දශක ගණනක් පුරා රසික ආදරය ලබමින් හෙළ ගීත කෝකිලාව ලෙස කිරුළු දරන්නට ඇගේ හඬම පිටිවහලක් විය. අදටද ඇය ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ගායිකාවක වන්නීය. 1934 වසරේ නොවැම්බර් 11 වැනිදා උපන් රීටා ජෙනෙවි ප්‍රනාන්දු නම් වූ ඇය අප වඩාත් ආදරය කරන ගායිකා කලාසූරී ලතා වල්පොලය. අද හදසර අපේ කතාබහ ආදරණීය ඇය සමඟය.

මම ඉපදුණේ බම්බලපිටියේ. ධවලගිරිය තමයි නිවහන වුණේ. තාත්තගෙ අයියා කෙනෙක් ඒක රු. 35,000/- ට විකිණුවා. අද වනවිට කෝටි ගණනක වටිනාකමක්. පස්සෙ අපි ආවා ගල්කිස්සට. පීරිස් මාවතට. ශාන්ත අන්තෝනි විද්‍යාලයට තමයි මම ගියේ. මගේ අම්මා කන්‍යාරාමයක ගුරුවරියක්. ඇය එලිසබෙත් මියුරියල්. තාත්තා ජෝෂන් ප්‍රනාන්දු. මට අක්කා කෙනෙක් සහ අයියා කෙනෙක් හිටියා. මේ වෙද්දි අයියා ජීවතුන් අතර නැහැ. අක්කට වයස අනූවක් පමණ වෙනවා. ඇය තමයි ගීතවලට, සිනමාවට වැඩියෙන්ම ආදරය කළේ. සින්දු පොත් එහෙමත් එයා එකතු කළා.

රීටා ජෙනවි එවක ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ගීතිකා කණ්ඩායම නියෝජනය කළාය. පාසල් කාලය තුළද ඇය ගායනයට සමත්කම් දැක්වූවාය. ගායනා තරග සියල්ලේම රීටා සුලබ තරගකාරිනියක වූවාය. සැමගේ ආදරය දිනුවාය. නිවසේ ඕනෑම කටයුත්තක යෙදෙන අතර ගීත ගායනය ඇගේ පුරුද්දක් වූ අතර අසල්වැසියන්ද අගේ හඬ පිළිබඳව දැනුවත් වූයේ මහ හඬින් නිතර ඇසෙන ගායනාවන් නිසාමය. අසල්වැසියකු වූ විල්මන් අයියා ඇගේ මේ ගායනය අසා දිනෙක ඇයට උදව් කළ යුතු වග සිතුවේය. දවසේ සවස් කාලයේදී නිවසේ පඩිය මතට වී හිඳ අක්කාද අයියාද සමඟ ගීත ගැයීම ඇගේ ප්‍රියතම කාර්යයකි. මේ වෙලාවට මම්මාත් අපිත් එක්ක එකතු වුණා. එයා මම සින්දු කියනවා අහගෙන ඉන්නෙ ගොඩක් ආසාවෙන්. ඔය අතරෙදි අපේ අසල්වැසි විල්මන් අයියා මට උදව් කරන්න ඉදිරිපත් වුණා. මාව සී.ඒ. ෆොන්සේකා මහතා ළඟට රුගෙන ගියේ ඔහු.

සී.ඒ. ෆොන්සේකා යනු එවක ගුවන්විදුලි ගායකයකු සංගීතඥයකු මෙන්ම රංගන ශිල්පියෙක් ද විය. ඔහු සිය දරුවන් වූ සී.ඩී. ෆොන්සේකා, අර්වින් ෆොන්සේකා ඇතුළු පිරිසක් සමඟ මසකට වරක් ගුවන්විදුලි වැඩසටහනක් සඳහා ගීත ගැයූ අතර රීටා ජෙනවි ප්‍රනාන්දු ද එම වැඩසටහන සඳහා සමූහ ගී ගායනයට එක්වීමට භාග්‍ය ලැබුවාය. මෙම ගමන නිසා ඇයට තවත් භාග්‍යයක් හිමි විය. එනම් සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධ බොහෝ පිරිසක් ඇයට හමුවීමය. වයලීන් වාදන ශිල්පී වින්සන් ද අල්විස් ඇයව ජනප්‍රිය ගායන ශිල්පීන් වූ සුසිල් ප්‍රේමරත්න, සී.ටී. ප්‍රනාන්දු, චිත්‍රාල් සෝමපාල ආදීන්ට හඳුන්වා දුන්නේය. ඔහු ඇයගේ නිවසට යාබදව ජීවත් වූ නිසාම ගීත ප්‍රසංග හෝ පටිගත කිරීම්වලින් පසුව ඇයව නිවසට ඇරලීමට පවා ඉදිරිපත් වූ වග ඇය ගෞරවයෙන් සිහිපත් කරයි. ඔහුගේ සරල ගී වැඩසටහනට ඇතුළත් වූ යුග ගීයක් ගැයීමටද රීටා ජෙනෙවිට අවස්ථාව හිමි විය. එමෙන්ම වින්සන් ද අල්විස් හඳුන්වා දුන් සුසිල් ප්‍රේමරත්නගේ සරල ගී වැඩසටහන වෙනුවෙන්ද ගීත ගායනා කිරීමට ඇයට අවස්ථාව හිමි විය. රෑ රුසේ අඳිනා ලෙසේ, රන්වන් කරලින් ආදී ගීත ඔහු සමඟින්ද, සී.ටී. ප්‍රනාන්දු සමඟ සැළලිහිණි කොවුල්, ලෝ අඩ නින්දේ යන ගීතද ගයමින් ඇය අතිශය ජනප්‍රියත්වයට පත් වූවාය.

 

තම සංගීත ජීවිතයේ හමුවූ සුවිශේෂ ගුරුවරයකු ලෙස ඇය සුනිල් ප්‍රේමරත්න හඳුන්වා දෙන්නීය. ඇයට වෙනත් සංගීත ගුරුවරයකු යටතේ හෝ ආයතනයකින් හෝ නොලද සංගීත ඥානය සපුරා ගැනීමට ඉඩ ලැබුණේ ඔහු යටතේය. රීටා ජෙනෙවි ප්‍රනාන්දු යන නම වෙනස් කොට ලතා ප්‍රනාන්දු ලෙස සංගීත ලෝකයට ඇගේ හඳුන්වා දීම පවා සිදු කළේ සුනිල් ප්‍රේමරත්නමය. පසු කලෙක සුසිල් – ලතා සුසංයෝගයෙන් හෙළ ගීත කලාවට අතිශය සොඳුරු ගී රැසක්ම එක්විය. එවක ගුවන්විදුලියේ ඇගේ ගී නිතරම ප්‍රචාරය වූ අතර ලතා ප්‍රනාන්දු නම නිරන්තරයෙන් ගුවන්විදුලියෙන් ඇසෙන්නට විය. මෙසේ සරල ගී ගායිකාව ලෙස නම් දැරෑ ඇයට කලකදී සිනමා පසුබිම් ගී ගායනයට ආරාධනාවක් හිමි විය. ඒ සිනමා ක්ෂේත්‍රයේ දැවැන්තයකු වූ සිනමාස් සමාගමේ අයිතිකරු වූ කේ. ගුණරත්නම් වෙතිනි.

මට සුජාතා චිත්‍රපටයට ගීත ගයන්නට තමයි මුලින්ම අවස්ථාවක් ලැබුණේ. ඒත් තාත්තා ඒකට කැමති වුණේ නැහැ. අම්මා කොතරම් කැමති වුණත් මුල සිටම තාත්තා විරුද්ධවයි හිටියේ. තාත්තා සංගීතයට කලාවට අකමැති පුද්ගලයකු නොවෙයි. නමුත් ගැහැනු දරුවකු වූ මා මේ ක්ෂේත්‍රයට එන එක ගැන ඔහුගේ එතරම් පැහැදීමක් තිබුණේ නැහැ. මොකද අප කතෝලික බැතිමතුන්. සවස 6 න් පස්සේ ගැහැනු ළමයි නිවසේ රුඳී සිටිය යුතුයි. ඔරසන් කිව යුතුයි කියන අදහස තමයි තාත්තගේ තිබුණේ. මේ නිසා මට සුජාතා චිත්‍රපටයට ගීත ගයන්න බැරි වුණා. පසුව තමයි ශාන්ත කුමාර් මාව සොයාගෙන එන්නේ. ඒ ඔහුගේ %එදා රූ^ චිත්‍රපටයට සින්දු කියන්න. එදා තාත්තා ගෙදර හිටියේ නැහැ. එනිසාම මම ඒ අවස්ථාව ලබාගත්තා. ඈ අතීතය සිහි කළේ ඉතා සැහැල්ලුවෙනි.

ඒ අනුව ඇය සිංහල සිනමා වංශ කතාවේ දාහත් වැනි චිත්‍රපටය වූ 1953.02.14 තිරගත වූ සිලෝන් තියටර්ස් නිෂ්පාදනය කළ ශාන්ති කුමාර් අධ්‍යක්ෂණය කළ ශාන්ති කුමාර්, සීතා ජයවර්ධන, හර්බි සෙනෙවිරත්න, වංශවතී දවුලගල රංගනයෙන් එක්වූ එදා රෑ චිත්‍රපටය සමඟ චිත්‍රපට පසුබිම් ගී ගායිකාවක ලෙස දොරට වැඩියාය. ඩී.ටී. ප්‍රනාන්දු ලියූ මොහොමඩ් ගවුස් සංගීතවත් කළ ඇගේ මුල්ම පසුබිම් ගීය යුග ගීයක් වූ අතර හර්බි සෙනෙවිරත්න සමඟ ඇය එය ගැයූ අතර වංශවතී දවුලගල රංගන ශිල්පිනිය තරයේ ඇගේ හඬ සමඟ පෙනී සිටියාය.

එදා රෑ චිත්‍රපටයට ගීත පටිගත කළේ කඳාන ස්ටූඩියෝ එකේ. ඒක අයිති එස්.එම්. නායගම් මහතාට. ඔහු සහ මුත්තුසාමි මාස්ටර් එදා රූ එකේ ගීත අහලා තමයි මාව ප්‍රේම තරගයට ගීත ගායනා කරන්න ගත්තේ. සොඳුරු මතක අවදි කරමින් ඇය නිහතමානීව පවසන්නීය.

ඇගේ ගමනේ වඩාත් ශක්තිමත් අඩිතාලමක් වූයේ මෙම ප්‍රේම තරගයයි. 1983 වසරේම මාර්තු 27 වැනිදා තිරග වූ ප්‍රේම තරගය නිෂ්පාදනය කළේ එස්.එම්. නායගම්ය. ඒ.බී. රාජ් අධ්‍යක්ෂණය කළ මෙහි අරුණ ශාන්ත, අයේෂා වීරකෝන්, හියුගෝ ප්‍රනාන්දු, මාක් සමරනායක ආදීහු රංගනයෙන් එක්ව සිටියහ. ප්‍රේම තරගය වෙනුවෙන් ලතාට ගීතහයක් ගැයීමට තිබූ අතර යුග ගීත දෙකක්ද විය. එම යුග ගීත රංගන ශිල්පී අරුණ ශාන්ත සමඟ ගැයීමට නියමිත විය. එහෙත් පුහුණුවීම්වලදී ඉතා හොඳින් ගැයූ ඔහුට පටිගත කිරීමේදී කටහඬ අවදි නොවීමෙන් ගීත ගයන්නට දැඩි අපහසුවක් ඇතිවිය.

හරිම පුදුම වැඩක් තමයි වුණේ. කොච්චර ගීතය ගයන්න හැදුවත් අරුණ ශාන්තගේ හඬ ආවේම නැහැ. දැන් පටිගත කිරීම් අතරමඟ නැවතිලා. දැන් වගේ නෙවෙයිනෙ. සංගීත ශිල්පීන්, අත්වැල් ගායනා කරන අය, මේ ඔක්කොම ඇවිල්ලනෙ. මහ රෑ දොළහට විතර ඇති. මුත්තුසාමි මාස්ටර්ගේ උපදෙස් මත වෙනත් කෙනකු යොදාගෙන ගීත පටිගත කරන්න සූදානම් වුණා. වාදන ශිල්පී එම් ආරියදාස තමයි ඒ වෙලාවේ ධර්මදාසව පටිගත කිරීමට රැගෙන ආවේ.

හොඳ හොඳම වේය – කිසිම තැනක නැහැ
නොහොඳ නරක දිනුවේ
සිත ඊර්ෂ්‍යා මාන ගති නැති නිසාම අපි
ප්‍රේම තරගෙ දිනුවේ

එසේ ගයමින් සිදුවූ හමුවීම ලතාගේ ගායන දිවියේ මෙන්ම සැබෑ දිවියේ ද වෙනස්කම් රුසකට පරිවර්නයන්ට හේතු විය. එවක ගායිකාවක සේම ජනප්‍රිය නිළියක ද වූ රුක්මණී දේවියට අමතරව ඇය රඟ නොපාන චිත්‍රපටවල ගී ගැයීමට ගායිකාවකගේ අඩුවක් පැවතිණ. ලතා ප්‍රනාන්දුගේ පැමිණීමත් ඇගේ මධුර හඬත් සුවිශේෂ ගායන පරාසයත් එම අඩුව මැනවින් පරිපූර්ණ කරන්නට හේතුවක් විය. ප්‍රේම තරගයෙන් පසුව ඇයට චිත්‍රපට ගලා ආ අතර අහංකාර ස්ත්‍රී, රදළ පිළිරුව, මාතලන්, ඩිංගිරි මැණිකා, දුප්පතාගේ දුක, රේඛාව සිනමා නිර්මාණ හරහා ඈ තම ගායන කෞෂල්‍ය විදහා දැක්වුවාය. ඇය දිනෙන් දින ගායිකාවක ලෙස ඉහළටම ගමන් කළද පියාගෙන් නම් කිසිදු අනුබලයක් ඊට නොවීය. එවක ගීත පටිගත කිරීම් සඳහා ඉන්දියාවට යාම නිරන්තරයෙන් සිදුවූවකි. මෙලෙස වරක් ඉන්දියාවට ගොස් පැමිණි ලතාට මුහුණ දෙන්නට සිදුවූයේ මහත් අවාසනාවන්ත තත්ත්වයකටය. තාත්තාට හොඳටම කේන්ති ගිහින්. අම්මත් එක්ක රණ්ඩු කරලා. ගෙදර දේවල් ගිනි තියලා. අයියයි අක්කයි අම්මයි හිටියේ මගේ ඥාති නිවසක. සියල්ල මුල සිට ආරම්භ කරන්නට මට සිදු වුණා. මගේ අම්මා ඒ වෙලාවේ ගත්තේ මගේ පැත්ත. ඇය මගේ දක්ෂතාව විශ්වාස කළා. තාත්තා පසු කාලෙ අසනීපවෙලා එක්තැන් වුණාම මම එයාව බාර අරන් ඇප උපස්ථාන කරලා රුකබලා ගත්තා. තමන්ගේ දක්ෂ දියණියගේ කලා හැකියාව ඉදිරියට අරන් යන්න සියල්ල කැප කළ කෙනෙක් මගේ ආදරණීය අම්මා. නමුත් තාත්තට වරදක් කියන්නත් බැහැ. අපේ පවුල් පසුබිම අනුව දහම අනුව ඔහු විශ්වාස කළ දේ නිසයි ඔහු මම ගී ගයනවාට අකමැති වුණේ.

ඇය තම අතීතය සිහි කරන්නේ කිසිවකුට හෝ චෝදනා නොකරමිනි. කාලයාගේ ඇවෑමෙන් ප්‍රේමයෙන් බැඳුණු ලතා – ධර්මදාස 1957 දී විවාහ දිවියට එළඹුණු අතර දරුවන් ලැබ ආදරණීය ජීවිතයක් ගත කළෝය. ධර්මදාස වල්පොල 1983 වසරේ මියයන තෙක් වරින් වර ඔවුහු සිනමා පසුබිම් ගීතද ගායනා කළහ.

ලතා වල්පොල ගායනවේදිනිය දීපශිකා, ස්වර්ණ හංස, සරසවිය ඇතුළු සිනමා උළෙල රැසකදීම සම්මානයට පාත්‍ර වූ අතර 2005 වසරේදී ශ්‍රී ලංකා රජය මගින් පිරිනමන කලා සූරී සම්මානයෙන්ද 2017 වසරේදී දේශමාන්‍ය සම්මානයෙන්ද පිදුම් ලැබුවාය. මේ සියල්ල අභිබවා ඈ අප්‍රමාණ වූ ජනතා සම්මානයෙන් අදටත් පිදුම් ලබන්නීය. මට වෙලාවකට පුදුමත් හිතෙනවා මේ තරම් මිනිස්සු මට ආදරය කරන එක ගැන. උපන් දිනය දවසට කලින් ඉඳන් ඇමතුම් ලැබෙනවා දින ගණනක් පුරා. වෙලාවකට දුරකථනයෙන් කතා කරලා කියනවා එක එක ගීත කොටස් ගායනා කරන්නකෝ කියලා. මම කාගෙවත් හිත් රිදවන්නෙ නැහැ. කොහොම හරි ඒ අයගේ ඉල්ලීම් ඉෂ්ඨ කරනවා. මම කා එක්කවත් තරහක් නෑ. ජීවිතේටම එක්කෙනෙක් විතරයි අමනාප වුණේ. ඒත් පස්සෙ කාලෙකදි එයා එක්කත් යාළු වුණා. ඇය පවසන්නේ අභාවප්‍රාප්ත ඇන්ජලීන් ගුණතිලක ගායන ශිල්පිනිය සම්බන්ධවයි.

අලුත් ළමයි මාත් එක්ක සින්දු කියන්න කැමතියි. සමහරුන්ට හොඳම ගායන හැකියාවක් නැහැ. ඒත් මම ඒ අයගේ හැකියාව ගැන හිතලා ඒ ඉල්ලීම් අහක දාන්නෙ නැහැ. එයාලගෙ ආසාවටනෙ එහෙම ඉල්ලීම් කරන්නෙ.

මහලු වියේ මා තනිවන දවසේ
වාරු නොමැති පා ඔසවන්නේ
තනි නොතනිය මැද දුවේ නුඹයි
මට එදාට මව් වන්නේ…

යනුවෙන් දශක කිහිපයකට පෙර ප්‍රේමකීර්ති ද අල්විස්ගේ වචන ස්ටැන්ලි පීරිස්ගේ සංගීතයට ලතා තම ආදරණීය දියණිය ධම්මිකා සමඟ ගැයුවාය. ගීතයේ පරිදිම මවක් සේ ළංව මෙම ජාතියේ මහා ගායිකාව රුකබලා ගන්නේ ධම්මිකා බණ්ඩාරය. ඒ ඇගේ සැමියා සංගීතවේදී මහින්ද බණ්ඩාර සමඟය. දරු මුණුපුරන්ගේ ආදරය මැද තම ජීවිතයේ සැඳෑ සමය ගත කරන ගී ලොව ගී ලතාවට අපි නිදුක් නිරෝගි සුව දීර්ඝායු ප්‍රාර්ථනා කරමු.

මොනිකා සේරසිංහ

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්