Jul
2

කාබනික කෘෂිකර්ම ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මාර්ගගත සැසියක්

 
2398 Views
   
 

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමක් අනුව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය 2021 ජූලි 01 වන දින කාබනික කෘෂිකර්මය සම්බන්ධයෙන් ද්විපාර්ශවික මාර්ගගත (online) වැඩසටහනක් සංවිධානය කර තිබිණ. මෙහිදී ඉන්දියාවේ සාර්ථකත්වය පිළිබඳ අත්දැකීම් බෙදා ගන්නා ලදී. මෙහි ප්‍රධාන දේශනය ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මැතිතුමා විසින් සිදු කරන ලදී. නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ සහ නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සීතා අරඹේපොල මහත්මිය සහ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ද මෙම අවස්ථාව ඇමතූහ.

කාබනික කෘෂිකර්මය වෙත යොමුවීමට ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයට ධාරිතා ගොඩනැගීමේ පුහුණුව ලබාදීම, තාක්ෂණික ඥානය බෙදාගැනීම, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් අතර හුවමාරු සංචාර සංවිධානය කිරීම සහ කාබනික වගා ක්ෂේත්‍රයේ නිරත ආයතන අතර පර්යේෂණ සහයෝගීතා යනාදිය හරහා දායකත්වය ලබාදීමට ඉන්දියාව සූදානම් බව මහ කොමසාරිස්තුමා මෙහිදී ප්‍රකාශ කළේය. මෙම ක්ෂේත්‍රය තුළ ඉන්දියාව සතු සුවිසල් අත්දැකීම් සම්භාරය ශ්‍රී ලාංකික ජනතාවගේ ආහාර සුරක්ෂිතතාවය ළඟා කරගැනීමට යොදා ගන්නා ලෙසට ද ඉන්දියාවේ සහයෝගය ඇතිව ‘විශිෂ්ටත්වයේ කාබනික මධ්‍යස්ථානයක්’ ශ්‍රී ලංකාවේ පිහිටුවීමට ද මහ කොමසාරිස්තුමා යෝජනා කළේය. ශ්‍රී ලංකාවේ ජෛව පොහොර නිපදවීමේ ඒකාබද්ධ ව්‍යාපෘතීන් ගොඩනැගීම සඳහා පවතින අවස්ථාවන් සොයා බලන ලෙස ද එතුමා දෙරටෙහි ජෛව පොහොර සමාගම් වලින් ඉල්ලා සිටියේය.

කාබනික කෘෂිකර්මාන්තයේ විවිධ අංශ තුළ දෙරට අතර අන්තර්ක්‍රියා සහ සහයෝගීතාවය ඉහළ නැංවිය යුතු බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සීතා අරඹේපොල මහත්මිය ප්‍රකාශ කළාය. ගරු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා 100%ක් කාබනික කෘෂිකර්මයට යොමුවීම සඳහා ශ්‍රී ලංකා රජයේ අවශ්‍යතාවය මතු කර දැක්වූ අතර මෙම ක්ෂේත්‍රය තුළ ඉන්දියාවේ හැකියාවන් සහ ප්‍රවීණත්වය ශ්‍රී ලංකාවට ප්‍රයෝජනවත් වනු ඇතැයි විශ්වාසය පළ කළේය. මෙවැනි වැඩසටහනක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් මහ කොමසාරිස් කාර්යාලයට ප්‍රශංසාව පළ කළ රාජ්‍ය අමාත්‍යවරු දෙපළ ඉදිරියේදී තවත් මෙවන් වැඩසටහන් සංවිධානය කරන ලෙස ඉල්ලා සිටියහ.

සිකිම් කාබනික සංවර්ධන නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය එස්. අන්බලගන් මහතා 100%ක් කාබනික වගාව භාවිතා කරන ලොව ප්‍රථම ප්‍රාන්තය බවට පත් වූ සිකිම් ප්‍රාන්තය විසින් යොදා ගන්නා ලද ක්‍රමෝපායන් මෙහිදී බෙදා ගත්තේය. ICAR- ඉන්දියානු කෘෂිකර්ම පර්යේෂණ ආයතනයේ ප්‍රධාන විද්‍යාඥ ආචාර්ය ශිවා ඩාර් මහතා කාබනික වගාව සඳහා ශාක පෝෂක කළමනාකරණය පිළිබඳ වටිනා කරුණු මෙහිදී බෙදා ගත්තේය.

මෙම සැසිය අතරතුර පැවති වාණිජ මට්ටමේ සාකච්ඡාව සඳහා ලංකා වාණිජ මණ්ඩලය, ඉන්දියානු කර්මාන්ත සංසදය සහ දෙරටෙහි ජෛව පොහොර නිෂ්පාදන සමාගම්වල නියෝජිතයන් සහභාගී විය.

මෙම අවස්ථාව අමතමින් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ තාක්ෂණික සහයෝගීතා අංශයේ ප්‍රධානී ආචාර්ය සුෂිල් කුමාර් මහතා සඳහන් කළේ කෘෂිකර්මාන්තය, විවිධ ක්ෂේත්‍ර ඔස්සේ පැතිර පවතින ඉන්දු – ශ්‍රී ලංකා ද්විපාර්ශවික සහයෝගීතාවයේ ඉතා වැදගත් කොටසක් වන බවයි. ජෛව වල් නාශක, ජෛව පළිබෝධනාශක, කොම්පෝස්ට් සරු කිරීමේ තාක්ෂණය වැනි අංශ තුළ මෙවැනි අන්තර්ක්‍රියා සඳහා පහසුකම් සැලසීමට ද කෘෂිකර්මය සහ ඒ හා සම්බන්ධ ක්ෂේත්‍ර තුළ දෙරට අතර ආයතනික සහයෝගිතාවයන් ශක්තිමත් කිරීමේ හැකියාවන් සොයා බැලීමට ද එතුමා එකඟ විය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්